දැන ගියත් අතරමග



2019.07.21 වෙනිදා උදේ 4.30ට විතර මහව ස්ටේෂන් එකට ආවේ දවස් දෙකක නිවාඩුවකට පස්සෙ ආපහු වැඩට යන්න හිතාගෙන. මම උදේ හවස යන එන කෙනෙක් නම් නෙවෙයි. සති දෙක තුනකට සැරයක් තමයි නිවාඩුවට එන්නෙ.  ස්ටේෂන් එකට එනකොටම සාමාන්‍ය විදියට ඇහෙන නිවේදනයම ඇහුනා. කොම්පඤ්ඤවීදියට ටිකට් එකකුත් අරන් කෝච්චියට නැගලා හොඳ මුල්ලක් අල්ලන් වාඩි වෙනකොට 4.45 කිට්ටු වෙලා. ඔන්න එතකොට එනවුන්ස් කරනවා ඇහුනා අර පුරුදු ඒවා ඔක්කොමත් කියලා අන්තිමට කුරුණෑගල දුම්රිය ස්ථානයේදී ස්වල්ප වේලාවක් ප්‍රමාද වී ධාවනය වනවා ඇත කියලා. ඒ මොකද, මොකද්ද හේතුව කියල කිව්වෙත් නෑ වගේම ඒක බැහැලා ගිහින් අහන්නවත් වෙලාවක් ඉතුරු වුනේ නෑ ඒ එක්කට කෝච්චිය ගමන පටන් ගත්තා. මට හොඳට නින්ද ගියා.

ඊලඟට මට ඇහැරෙනකොට කෝච්චිය කුරුණෑගල නවත්තලා. වෙලාව බැලුවා 5.40යි. කොහොමත් කුරුණෑගලට එන වෙලාවනෙ කියලා මම ආයෙම නිදාගත්තා. ආයෙ ඇහැරෙනකොටත් කුරුණෑගලමයි. වෙලාව බලද්දි 6.20යි. ස්වල්ප වේලාව පැයකට විතර කිට්ටු කරලා කියලා තේරුනේ එතකොටයි. තවත් විනාඩි 10ක් විතර ගියාම ආයෙ ඇහෙනවා මොකද්ද මංදා හේතුවකුත් කියලා දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාධ වී ධාවනය වනවා ඇත කියලා.

මේ වෙනකොට එහෙන් මෙහෙන් ඇහිලා තිබුනා පාර ගලවලා තවම හදාගෙන නැතුව වෙන්නැති කියලා. මම ඉතින් කෝච්චියෙන් බැහැලා දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් කාර්යාලය පැත්තට  ගියා. ඒ යද්දි දුම්රිය සාමාන්‍ය සේවක මහත්මයෙකුගෙන් මම ඇහුවා කොහෙද මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට කිව්වා ඔන්න පොල්ගහවෙල උසාවිය ලග රේල්  පාර ගලවලා ඒකයි අවුල කියලා. එතකොට මම කිව්වෙ අපරාදෙ පොතුහැරටවත් යැව්වා නම් බස් එකක හරි නැගල යන්න තිබ්බනෙ කියලා. (දන්නවනේ කුරුණෑගල ස්ටේෂන් එක තියන තැන ඉඳන් කොළඹ යන බස් එකකට නගින්න කොච්චර ලේසිද ලගද කියලා) එතකොට එයා කිව්ව විදියට නම් ගනේවත්තෙන් පාන්දර පිටත්  වෙන කෝච්චිය පොතුහැර නවත්තලා. ඒකත් එහෙමද කියල තව ටිකක් බලනවා කියලා මම පොඩ්ඩක් වේදිකාවෙ එක කෙලවරකට ගිහින් ආපහු ඇවිදන් එනකොට දුම්රිය ස්ථානාධිපති කෙනෙක් ෆෝන් එකේ හිටියා. එයා ෆෝන් එක තියලා එතන හිටපු තව ස්ථානාධිපති කෙනෙකුට කිව්වේ අට පහුවෙනවලු කියලා. මමත් ඉතින් එතනට වෙලා බලන් හිටියා මොකද වෙන්නෙ කියලා. ඒකෙන් විනාඩි 5-10 යනකොට ටැබ්ලට් මැෂින් එකේ බෙල් එක වැදුනේ රැජින එනවා කියලා.

එතකොට අර මුලින් කිව්ව ස්ථානාධිපතිතුමා සාමාන්‍ය සේවකයෙකුට  කතා කරලා කිව්වා කෝච්චියෙ ඉන්න ඔක්කොමලා බස්සන්න කියලා. එ් එක්කම එනවුන්ස් කරන කෙනාටත් කිව්වා මේ කෝච්චියට කලින් රැජින යනවා කියල එනවුන්ස් කරන්න කියලා. ඒ අතරෙ ඒ දුම්රිය ස්ථානාධිපතිතුමාගෙන් මම ඇහුවා දැන් මේක යන්නැද්ද කියලා. එතකොට එයා කිව්වෙ නෑ...මේක යන්නෑ රැජින යවනවා කියලා.

මම     :           එතකොට අපි ගත්ත ටිකට් වලට මොකද වෙන්නේ?

ඔහු    :           රැජින යනවනෙ. ඒකෙ යන්න.

මම     :           ඒක යනවා කියලා ෂුවර්ද? කීයටද යන්නේ?

ඔහු    :           ඒක නම් කියන්න බෑ. ටිකක් පරක්කු වෙලා යයි. වෙලාවක් කියන්න බෑ..

මම     :           එතකොට මගෙ ප්‍රශ්නෙට උත්තරයක් නැද්ද?

 

කියනකොට එතුමා කාර්යයාලය ඇතුලට ගියා. මැදි විය ඉක්මවලා ගිහින් හිටපු ඒ වෙලාවෙ සපත්තු දෙකක් වත් නොදා වෙන මොකද්ද පාවහන් දෙකක් දාගෙන හිටපු ඒ ස්ථානාධිපතිතුමා එහෙමයි අසරණ වුන මගීන්ට උදව් කරන්නෙ කියල මම හිත හදාගත්තා.

ඒ එක්කම වගේ ඇතුලේ හිටිය අනිත් ස්ථානාධිපතිතුමා එලියට ආවා. එතුමාගෙනුත් මම අර ප්‍රශ්නෙම ඇහුවා.


ඔහු    :           රිෆන්ඩ් එකක් ගන්න පුලුවන් මෙහනේ ගත්ත ටිකට් වලට.

මම     :           මම එන්නෙ මහව ඉඳලනෙ.

ඔහු    :           එහෙනම් එහෙන් තමයි ගන්න වෙන්නේ.

මම     :           එතකොට මම යන ගමන නවත්තලා එහෙ යන්න ඕනෙ මේකෙ රිෆන්ඩ් එක ගන්න?

ඔහු    :           ඔව් ඉතින් ඒක එහෙම තමයි.

අඩුම ගානේ ඔහු කතා කරා සුහදශීලී විදියට. තවත් මෙතන ඉඳලා තේරුමක් නෑ  කියලා මම ස්ටේෂන් එකෙන් එලියට ආවා. ඒ වෙනකොට නම් එතන ඉඳල වැඩකුත් නෑ. ගියා කියලා වැඩකුත් නෑ. කොළඹ ඉන්න තිබුන වෙලාව ඒ වෙනකොටත් කිට්ටු වෙලා තිබුන හින්දා. එලියට යන ගමන් ටිකට් කවුන්ටරේ ඉන්න ස්ටේෂන් මාස්ටර්ටත් මම ප්‍රශ්නෙ දැම්මා නිකමට වගේ. ඒ මහත්තයත් බොහොම හොඳට සුහදශීලි විදියට කතා කලා - උත්තරේ කලින් එකමයි.

කරන්නම දෙයක් නැති තැන බස් එකේවත් යනවා කියල පාරට ආවා. ඒ එන ගමන් නිකමට වගේ ගත්තා කෝල් එකක් මහව ස්ටේෂන් එකට.


මහව :           සුභ උදෑසනක්, මහව .

මම     :           සුභ උදෑසනක්. මම මහව කෝච්චියෙ ආව කෙනෙක්. දැන් මේ කෝච්චිය කුරුණෑගල නැවැත්තුවා යන්නෙ නෑ කියලා. මගෙ ටිකට් එකට රිෆන්ඩ් එකක් ගන්න නම් මට මහව යන්න ඕනෙ කියල කියනවා. මට කොච්චර කාලයක් ඇතුලත ඒක ගන්න පුලුවන්ද?

මහව :           නෑනෙ. ඔතන ටික වෙලාවක් පරක්කු වෙලා යනවා විතරයි. කැන්සල් වෙන්නෙ නෑනෙ.

මම     :           ඔව් එහෙම තමයි කිව්වෙ, හැබැයි දැන් ඒක යන්නෙ නෑ ඒකට කලින් රැජින යනවා කියලා කිව්වා. ඒකෙ හිටපු කට්ටියත් බැස්සුවා.

මහව කෝච්චියට මෙච්චර හරියක් වෙනකල් මහව අය ඒක දන්නෙත් නෑ ඉතින්, කොහොමින් හරි ඒ කතා කරපු කෙනාට මේකට විසඳුමක් නෑ. එයා වෙන කෙනෙකුට කතා කලා. ඒ කෙනාටත් මම ආයෙම විස්තරේ කිව්වා.

මහව :           පොඩ්ඩක් පරක්කු වෙනවා කියලා තමයි අපිට කියල තිබ්බේ.

මම     :           ඔව්, වෙන්නැති දැන් හැබැයි පැහැදිලිවම කිව්වා යන්නේ නෑ කියලා.

මහව :           ඔයාට රිෆන්ඩ් එකක් දෙන්න පුලුවන් හැබැයි අපිව දැනුවත් වෙන්න ඕනෙ කෝච්චිය කැන්සල් වුනා කියලා. එහෙම නැතුව නම් ඒක කරන්න විදියක් නෑ. ඔයා කොහෙටද යන්නේ?

මම     :           මම කොම්පඤ්ඤවීදියට යන්නේ.  හරි අපි හිතමුකො දැනුම් දුන්නා කියලා. එහෙම නම් කොච්චර කාලයක් ඇතුලත මම ඒක ගන්න ඕනද?

මහව :           අදම ආවොත් නම් සම්පූර්ණ ගානම දෙන්න පුලුවන්. නැත්තම් ඉතින් 25% අඩු කරගෙන තමයි දෙන්න වෙන්නේ.

මම     :           දැන් එතකොට මම යන ගමන නවත්තලා ආපහු එන්න ඕන රිෆන්ඩ් එකක් ගන්න නම්?

මහව :           අපිට කරන්න දෙයක් නෑ ඉතින් , ඕවට ෆෝම් පුරවලා යවලා එහෙම තමයි කරන්න තියෙන්නේ. දවස ගානෙ අපි ටිකට්ස් සෙට්ල් කරන්න ඕනෙනෙ.

මම     :           ඔව් නේද? හරි කමක් නෑ. මට ඔය ගාන ගන්න ආපහු එන්න ඕනකමක් නෑ. ඒක තේරුමකුත් නෑ. මම නිකමට ඇහුවෙ දැනගන්න මේවා  කොහොමද කෙරෙන්නේ කියලා.

මහව :           ඔව් ඉතින් රුපියල් 155 ගන්න ආපහු එන එක නම් තේරුමක් නෑ. කොහොම වුනත් ඉතින් අපිට කරන්න දේකුත් නෑ. මෙහෙම තමයි මේවා කරන්න තියෙන්නේ.

මම     :           නෑ නෑ...... ප්‍රශ්නයක් නෑ, මම මේ බස් එකක වත් යන්න කියල පාරට එනගමන් නිකමට කෝල් එක ගත්තේ මොකද කරන්න පුලුවන් කියලා දැනගන්න විතරයි. මම ආයෙ ලඟදි මහව එන්නෙත් නෑ. හරි, බොහොම ස්තූතියි මහත්තයෝ.


කියල මම ෆෝන් එක තියලා පාරට ඇවිත් බස් එකටත් තව රුපියල් 140ක් දීලා කොළඹ ආවා. අදාල තැනට එනකොට දවල් 12ත් කිට්ටු වෙලා.

ඒ කතා කරපු කෙනත් කවුරු වුනත් බොහොම හොඳ ලස්සනට වැදගත් විදියට කතා කලා.

මේක ලියන්නේ මහව සහ කුරුණෑගල දුම්රිය ස්ථාන වල කිසි කෙනෙකුට චෝදනාවක් කරන්න නෙවෙයි. ඒ කිසි කෙනෙක්ට මේ ගැන කරන්න දෙයක් නෑ කියල මම දන්නවා.  හැබැයි මහවදී කෝච්චිය යන්න ටිකකට කලින් ප්‍රමාදයක් වෙනවා කියල නොකිව්ව එකටත්, කුරුණෑගල මෙහෙයුම් ස්ථානාධිපති මැදිරියේ හිටපු මම මුලින් කතා කරපු කෙනාගෙ කතා විලාශයක් කියන දෙකට මගෙ හිතේ තියෙන්නේ දැඩි අප්‍රසාදයක්.

ඒ වගේම මහව ඉඳල ෆෝන් එකෙන් කතා කරපු, කුරුණෑගලදී දෙවනුව හා තුන්වෙනව කතා කරපු ඒ මහත්වරු තුන්දෙනා කතා කරපු සුහදශීලිී බව ඉතාම අගය කරලා සලකනවා.

අන්තිමට,

පාරේ වැඩ ඉවර නැත්තම් කෝච්චිය මුලින්ම කැන්සල් නොකර මේ වගේ විකාර කරන්නේ මොකද........

ප්‍රමාදය ස්වල්ප වේලාවක්, බොහෝ වේලාවක් කිය කිය එක එක වෙලාවට එක එක ඒවා කියන්න තරම් කරන වැඩේ ඉවර කරගන්න පුලුවන් වෙලාව ගැන දල අදහසක් වත් ගන්න පුලුවන් කෙනෙක් නැද්ද........

කෝච්චිය කැන්සල් වෙලා රිෆන්ඩ් ගන්න නම් යන ගමන නවත්තලා ආපහු පටන් ගත්ත තැනට යන්නත් ඕන, කෝච්චිය කැන්සල් කරා කියල දෙපාර්තමේන්තුවෙන් දැනුම් දෙන්නත් ඕන........

මෙහෙම වෙලා ටිකට්ස් රිෆන්ඩ් කරන්න කෝච්චිය කැන්සල් කරා කියලා ඒක පටන් ගත්ත තැනටවත් දැනුම් දීලා නැතුව, ඒ කෝච්චිය පහු කරපු හැම ස්ටේෂන් එකටම මේ පනිවිඩේ කියන්නේ කවුද........

මම මහව ඉඳලා කොළඹට තර්ඩ් ක්ලාස් ආව හින්දා කමක් නෑ. මීට වඩා දුර යන එකක ෆ්‍රස්ට් ක්ලාස් ටිකට් එකක් ගත්ත කෙනෙක්ට මෙහෙම වුනා නම්........

 මෙහෙම මිනිස්සු අතරමං නොකර කුරුණෑගලින් පොල්ගහවෙලට බස් වලින්වත් මිනිස්සු යවන්න ක්‍රමයක් හදන්න බැරිද.......

ප්‍රශ්නය දෙපාර්තමේන්තුවේ වුනත් පාඩුව අපිට.......

ලියන්න හිතන් හිටපු තව සමහර දේවල් මතක් වෙන්නෙත් නෑ දැන්........

ඉතින් හරී සන්තෝසයි.......

Post a Comment

0 Comments