එක දවසින් ගිහින් එන්න - ගල්බොඩ ඇල්ල

 



කොළඹ ඉඳන් වුනත් කිසිම කරදරයක් නැතුව එක දවසින් ගිහින් එන්න පුලුවන් නුවරඑළිය දිස්ත්‍රික්කයට අයිති දිය ඇල්ලක් තමයි මේ ගල්බොඩ ඇල්ල. මෙතනට යන්න තියන ලේසිම ප්‍රවාහන මාධ්‍යය වෙන්නේ කෝච්චිය. මේ තියෙන්නේ ගල්බොඩ ඇල්ල බලන්න ගියපු රේල්ලුව අපේ කතාව.

අපි ගමන දාගත්තේ 2019.06.09 වෙනිදා. මේක ඉරිදා දවසක් හින්දා ටිකක් සෙනඟ නම් වැඩි වෙයි තියලත් දැනගෙනම හිටියත්,  නිවාඩු ප්‍රශ්නත් එක්ක ඉතින් කරන්න දෙයක් තිබුනේ නෑ. උදෙන්ම කොළඹ කොටුව ස්ටේෂන් එකට ආවෙ බදුල්ලෙ යන අංක 1005 කෝච්චිය (පොඩි මැණිකේ) අල්ලගන්න. ගල්බොඩට ටිකට් අරන් අපි දෙවනි වේදිකාවට එනකොටත් පොඩ්ඩි ඇවිත් හිටියේ නෑ. එයාට කලින් අපි ආව හින්දම ජනේලයක් අයිනෙන් සීට් අල්ලගන්නත් අපිට පුලුවන් වුනා.

බදුල්ලෙ යන පොඩි මැණිකේගේ කාලසටහන (Last Updated 2020.06.05)

රාගම ගම්පහ එහෙම පහුවෙනකොට පුරුදු විදියටම හොඳටම සෙනඟ නැතත් සාමාන්‍ය මට්ටමක සෙනඟක් කෝච්චියේ හිටියා. තවත් ටික දුරක් යනකොට බර වැඩක හිටපු පුංචි යාලුවෙකුත් හම්බුනා.



තවත් මේ වගේ අය හිටියොත් හොඳට බලාගන්නත් පුලුවන් වෙයිනෙ කියල ලඟ හිටපු සෙට් එකකට අපේ සීට් පූජා කරලා අපි ආවා දොරක්  ළඟට. රඹුක්කනින් එහාට කඩුගන්නාව කන්ද නගින එකේ මෙව්වා එක හොඳට විඳින්න ඕන හින්දා දකුණු පැත්තෙ දොරක් තමයි අපි වෙන් කරගත්තේ.

කොහොමින් කොහොම හරි ටයිම් ටේබල් එකේ වෙලාවටම වගේ ගල්බොඩට එන්න මැණිකේ අක්කට පුලුවන් වුනා. ආපහු යන්න කෝච්චිය තියන වෙලාව හොඳටම දැනගෙන හිටියත් ඒක දන්නෑ වගේ කෝච්චියෙන් බැහැපු ගමන් දිව්වේ ස්ටේෂන් එකේ ටයිම් ටේබල් එක ළඟට. දැනගෙන හිටිය කෝච්චියේ ටයිම් එක හරි කියල තහවුරු කරගත්තට පස්සෙ බෑග් ටිකත් කරේ එල්ලගෙන බැස්සා රේල් පාරට. ගල්බොඩ ඇල්ල ළඟට යන පාරට යන්න රේල් පාර දිගේ අපි ආපු පැත්තටම, ඒ කියන්නේ නුවර පැත්තට ටික දුරක් ආපහු එන්න ඕන. ඒ එනකොට තියනවා දකුණු පැත්තට පුංචි පාරක්. මේ විදියේ මඟ සලකුණක් එතන තිබුණ හින්දා අපිට නම් පාර හොයා ගන්න අමාරු වුනේ නෑ. 


එතනින් ටිකක් කන්ද වගේ නගින්න තියනවා. ඒ අතරවාරෙදි ඇල්ල බලන්න යන්න ටිකට් ගන්න තැනත් හම්බෙනවා. රුපියල් 50ක් වුනා එක ටිකට් එකක්. ටිකට් එකේ තිබුණ හැටියට නම් පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවෙන් තමයි ටිකට් එක නිකුත් කෙරෙන්නේ. 


ටික දුරක් ගියාම සාමාන්‍ය පොඩි වාහනයකට වුනත් යන්න පුලුවන් පාරකට අපි ආවා. ගල්බොඩට කෝච්චියේ ආව අපි ඉතින් ඒක දිගෙත් පයින්ම තමයි ගියේ. එහෙම ටික දුරක් යනකොට ඔන්න අපිට හදිසියෙම පේන්න ගත්තා අංක 13 බිංගෙන් රේල් පාර එලියට එන හැටි. මේ විදියට ඒක දැක්කම හිතුනේ මේ බිංගෙවල් කොහොම හදන්න ඇතිද කියලා.


මේ බිංගෙන් එලියට එන කෝච්චියක් බදුල්ල පැත්තට යන පාර පෙනුනේ මේ විදියට


අපි ආව වෙලාවත් එක්ක මෙතනින් යන කෝච්චියක් නොතිබුණ හින්දා බිංගෙන් එලියට එන කෝච්චියක ෆොටෝ එකක් ගන්න තිබුන මගෙ ආසාව මෙතනදී ඉෂ්ට කරගන්න නම් බැරි වුනා. ඉක්මණට ආපහු එන්නත් ඕන හින්දා වැඩි වෙලාවක් මෙතන රැඳෙන්නෙ නැතුව අපි ආපහු ගමන පටන් ගත්තා. තැන් කීපයකදීම මේ විදියට නතර වෙවී ගියත් දවල් 12 වෙනකොට අපිට අපේ ගමනාන්තයට එන්න පුලුවන් වුනා. මහා ලොකු දිය ඇල්ලක් නොවුනත් කැලේ මැදින් ඇද හැලෙන මේ දිය ඇල්ලෙ තියෙන්නෙ අමුතුම ලස්සනක්. ඇල්ලෙන් පහලට එන වතුර ගලාගෙන යන පාරට උඩින් දාලා තියන පුංචි ලී පාලමක් උඩින් එහා පැත්තට ගිහින් තමයි ඇල්ල ලඟට යන්න තියෙන්නේ.

පොඩ්ඩක් වතුරට බැහැලා මහන්සිය නිමාගන්නත් අපි අමතක කරේ නෑ. ඇල්ල පහලට වැටෙන තැන නම් නාන්න, පීනන්න වගේ දේවල් වලට එච්චර සුදුසු නෑ කියලයි අපේ හැඟීම. හැබැයි එතනින් ටිකක් පහළට වෙන්න ආරක්ෂිතව නාන්න පුලුවන් තැනක් දෙකක් හොයාගන්න පුලුවන්. වැහි කාලෙට නම් ඒ වගේ තැන් වුනත් ආරක්ෂිත නොවෙන්න පුලුවන්. 



දවල් 1.00 වෙනකොට අපි ඇල්ලට සමු දීලා පහලට එන්න පටන් ගත්තේ ගල්බොඩින් 2.20ට කොළඹ යන පොඩි මැණිකේ අල්ලගන්න ඕන හින්දයි. එයාව මග ඇරුණොත් එහෙම ලොකු අමාරුවක වැටෙන බව දන්න හින්දා මග නවතින්නැතුවම අපි එක පිම්මට පල්ලම් බැස්සා. එහෙම ආව හින්දම විනාඩි 45ක් වගේ යනකොට අපිට ආපහු රේල් පාරට එන්න පුලුවන් වුනා. කෝච්චියට තව වෙලාව තියන හින්දයි, ස්ටේෂන් එකට වැඩි දුරක් නැති හින්දයි රේල් පීල්ල උඩම වාඩි වෙලා මහන්සිය නිවා ගත්තේ පුංචි වැහි පොදකටත් තෙමෙන ගමන්මයි. ටික ටික වැහි ගතිය වැඩි වෙනවා වගේ දැනුන හින්දා අපි ඉක්මන් කරල ස්ටේෂන් එකට ආවා.


ඒ එනකොට හැබැයි වැස්සත් ඉවරයි. දැන් ඉතිං ආයෙ යන්නයැ. ටිකට් අරන් වාඩි වෙලා බලන් හිටියා බිස්කට් පැකට් දෙක තුනකුත් ඉවර වෙනකල්. කොළඹට යන පොඩි මැණිකෙත් වෙලාවටම වගේ ආව හින්දා අපිට කිසිම කරදරයක් නැතුව ගමන ඉවර කරගන්නත් පුලුවන් වුනා.

කොළඹ යන පොඩි මැණිකේගේ කාලසටහන (Last Updated 2020.06.05)







Post a Comment

0 Comments