වාර ප්‍රවේශ පත්‍ර

වාර ප්‍රවේශ පත්‍ර එහෙමත් නැත්තම් කවුරුත් දන්න සීසන් ටිකට් එක ගැනයි මේ විස්තරය කියන්න යන්නේ. 

මුලින්ම බලමු තියෙන සීසන් ටිකට් වර්ග.

  1. රජයේ සේවක වාර ප්‍රවේශ පත්‍ර
  2. පෞද්ගලික වාර ප්‍රවේශ පත්‍ර
  3. දුම්රිය සේවක වාර ප්‍රවේශ පත්‍ර
  4. පාසල් / කාර්මික විද්‍යාල / විශ්ව විද්‍යාල වාර ප්‍රවේශ පත්‍ර
  5. කලාපීය සහ සති වාර ප්‍රවේශ පත්‍ර
මේ වර්ග අතරින් 1,2,5, කියන වර්ග වල සීසන් ටිකට් භාවිතා කරන්න නම් අනිවාර්යයෙන්ම දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හැඳුනුම්පතක් සාදා ගත යුතු වෙනවා. ඒ අපි කවුරුත් දන්න ෆෝල්ඩරය කියල කියන එක. මේ ෆෝල්ඩරය නැත්තම් සීසන් ටිකට් එකත් වලංගු නෑ කියලයි දුම්රිය සේවය හා බැඳුනු නීති රීති වලට අනුව කියවෙන්නේ. 

රජයේ සේවක වාර ප්‍රවේශ පත්‍ර

රාජ්‍ය සේවකයන් හට පමණක් වෙන් වූ වාර ප්‍රවේශ පත්‍ර වර්ගයයි. රාජ්‍ය සේවයේ ස්ථිර නිලධාරියෙකුට අමතරව වසරක සේවා කාලයක් සම්පූර්ණ කොට ඇති තාවකාලික නිලධාරියෙකුටද, අනියම් නිවාඩු ලබා ගත හැකි අනියම් නිලධාරියෙකුටද මේ වාර ප්‍රවේශ පත්‍රය සඳහා ඉල්ලුම් කරන්නට හිමිකමක් තියනවා. 

මුලින්ම ගන්න කෙනෙකුට මුලින්ම කරන්න ඕන ෆෝල්ඩර් එක හදාගන්න එක. තමන් වැඩ කරන ආයතනයෙන් හරි දුම්රිය මූලස්ථානයෙන් හරි සමහර බුක්ෂොප් වලින් හරි මේකට ඕන ඇප්ලිකේෂන් එක ගන්න පුලුවන්. නියමාකාරයෙන් පුරවගත්ත මේ ඇප්ලිකේෂන් එකයි පරණ පාස්පෝට් ප්‍රමාණයේ ෆොටෝ දෙකයි තමන්ගෙ දෙපාර්තමේන්තු ප්‍රධානියාගෙන් සහතික කරගන්න ඕන. ඒ එක්කම අදාල දෙපාර්තමේන්තුවේ සේවකයෙක් කියල සහතික කිරීමකුත් තමන්ගෙ දෙපාර්තමේන්තු ප්‍රධානියාගෙන් ගන්න ඕන. මේ ඔක්කොම ලියකියවිලි එක්ක ෆෝල්ඩරය සෑදීමේ ගාස්තුව වෙන රුපියල් 300ක මුදල තමන්ගෙ ආයතනය හරහා දුම්රිය මූලස්ථානයට යවලා තමන්ගෙ ෆෝල්ඩර් එක තැපෑලෙන් ගෙන්වා ගන්න පුලුවන්. එහෙමත් නැත්තම් අවශ්‍ය සියලුම දේවල් එක්ක මරදානේ දුම්රිය මූලස්ථානයට ගියොත් එවෙලේම මේ ෆෝල්ඩර් එක ගන්නත් පුලුවන්. මේ හම්බෙන ෆෝල්ඩර්  එක කොළ පාට එකක්. 

ෆෝල්ඩර් එක හදාගත්තට පස්සේ තමයි සීසන් ටිකට් එකට ඇප්ලයි කරන්න වෙන්නේ. ඒකටත් අදාල ඇප්ලිකේෂන් එක තමන්ගෙ ආයතනයෙන් අරගෙන නිවැරදිව පුරවලා තමන්ගෙ ආයතනය හරහාම දුම්රිය මූලස්ථානයට යවන්න ඕන.  මේ ක්‍රියාවලියේදී,

තමන් පදිංචි ස්ථානයට ආසන්නම දුම්රිය ස්ථානය හෝ උප දුම්රිය ස්ථානයේ ඉඳලා තමන්ගේ සේවා ස්ථානයට ආසන්නම දුම්රිය ස්ථානයට හෝ උප දුම්රිය ස්ථානයට වාර ප්‍රවේශ පත්‍රය ලබා ගන්න පුලුවන්. 
වාර ප්‍රවේශපත්‍රය සඳහා ගාස්තුව තනි ගාස්තුව වගේ 09 ගුණයක් (ඉහල 100 ගුණාකාරයට වැටයීම සිදු වේ) වෙනවා. 
ඉල්ලුම්කරුට හිමිකම ඇති පන්තියට අදාලව හෝ ඊට පහල පන්තියකට අදාලව පමණක් වාර ප්‍රවේශපත්‍ර ඉල්ලුම් කරන්න පුලුවන්.
පදිංචි ස්ථානයේ ඉඳලා සේවා ආයතනයට දුර සැතපුම් 20ට අඩු නම් ත්‍රෛමාසික වාර ප්‍රවේශ පත්‍රයක්ද දුර සැතපුම් 20ට වැඩි නම් මාසික වාර ප්‍රවේශ පත්‍රයක්ද ඉල්ලුම් කරන්න පුලුවන්. 
ස්ථීර නොවන සේවකයන්ට නම් ඉල්ලුම් කරන්න පුලුවන් වෙන්නේ මාසික වාර ප්‍රවේශ පත්‍රයක් පමණයි. 
වාර ප්‍රවේශ පත්‍රය ඉල්ලුම් කිරීමෙන් පසුව දුම්රිය මූලස්ථානය මගින් එය යවනවා ඔබ ගමනාරම්භ කරන දුම්රිය ස්ථානයට හෝ උප දුම්රිය ස්ථානයට. එතනින් තමන්ට අදාල වාර ප්‍රවේශ පත්‍රය ගන්න පුලුවන්.
අලුත් මාසයට අදාල වාර ප්‍රවේශ පත්‍රය ගන්නකොට පරණ වාර ප්‍රවේශ පත්‍රය ආපසු බාර දිය යුතු වෙනවා. 
අලුත් මාසයේ පළවෙනිදා ඉඳලා හත්වෙනිදා දක්වා කාලය තුල මේ ප්‍රවේශ පත්‍ර ගන්න පුලුවන්. අට වෙනිදාට දුම්රිය ස්ථාන වල ඉතුරු වෙලා තියන වාර ප්‍රවේශ පත්‍ර ආපහු දුම්රිය මූලස්ථානයට යවනවා. 
සහනයක් විදියට අලුත් මාසයේ දින 04ක් පරණ මාසයේ වාර ප්‍රවේශ පත්‍රයෙන්ම යාමට හා ඒමට අවස්ථාව සලසා දීලා තියනවා.


පෞද්ගලික වාර ප්‍රවේශ පත්‍ර

ඔබගේ ගමනාරම්භයේ සිට ඔබ කැමති ගමනාන්තයක් සඳහා මේ වාර ප්‍රවේශ පත්‍රය ලබා ගන්න පුලුවන්. මේ වාර ප්‍රවේශ පත්‍ර සඳහාත් ෆෝල්ඩරයක් සාදා ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. මේ ෆෝල්ඩර් එක හදාගන්න ඇප්ලිකේෂන් එක ගන්න පුලුවන් දුම්රිය ස්ථාන වලින්. මේකටත් පරණ පාස්පෝට් ප්‍රමාණයේ ෆොටෝස් දෙකකුත් ඕනෙ වෙනවා. හරියට පුරවාගත්ත ඇප්ලිකේෂන් එකයි, ඒ ෆොටෝ දෙකයි සහතික කරගන්නත් ඕනෙ. සාමදාන විනිශ්චයකරුවෙක්, ග්‍රාම නිලධාරීවරයෙක්, දුම්රිය ස්ථානාධිපතිවරයෙක් හෝ රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ලවා මේක කරගන්න පුලුවන්. ඊට පස්සෙ මේ ටික ෆෝල්ඩර් සෑදීමේ ගාස්තුව වෙන රුපියල් 300කුත් එක්ක තමන්ගෙ ගමනාරම්භ වෙන දුම්රිය ස්ථානයට බාර දෙන්න ඕන. ඒ අදාල ස්ථානාධිපතිවරයා ඒක බාරගෙන ඇප්ලිකේෂන් එකෙන් කොටසක් අපිට ආපහු දෙනවා. ඒ කොටස අපිට තාවකාලිකව ෆෝල්ඩරය වෙනුවට පාවිච්චි කරන්න පුලුවන්. ෆෝල්ඩරය ලැබෙන්න සාමන්‍යයෙන් මාස 01ත් 06ත් අතර කාලයක් ගත වෙනවා. දුම්රිය ස්ථානයට ෆෝල්ඩරය ලැබුනාම අපි තාවකාලිකව පාවිච්චි කරපු ඇප්ලිකේෂන් එකේ කොටස බාර දීලා අපේ ෆෝල්ඩර් එක ගන්න පුලුවන්. මේ ෆෝල්ඩර් එක දුඹුරු පාට එකක්. 

මේ සීසන් එක තමන්ට ඉල්ලන්න පුලුවන් වෙන්නෙත් තමන්ගේ ගමන ආරම්භ කරන දුම්රිය ස්ථානයෙන් හරි උප දුම්රිය ස්ථානයෙන්. මේ පෞද්ගලික වාර ප්‍රවේශ පත්‍ර ගන්න ක්‍රියාවලියේදී,

තමන්ගෙ ගමනාරම්භක ස්ථානයේ ඉඳලා තමන්ට කැමති ගමනාන්තයකට සීසන් එක ගන්න පුලුවන්.
වාර ප්‍රවේශපත්‍රය සඳහා ගාස්තුව තනි ගාස්තුව වගේ 24 ගුණයක් වෙනවා. (ඉහල 100 ගුණාකාරයට වැටයීම සිදු වේ)
තමන් කැමති පරිදි දෙවනි හෝ තුන්වෙනි පන්තියකට අදාලව සීසන් එක ගන්න පුලුවන්. 
ගමනාන්තය වෙනස් කරගැනීමක් කරගන්න පුලුවන් වෙන්නේ අලුත් මාසෙකට සීසන් එකක් ගන්නකොට විතරයි. 
අලුත් මාසයට අදාල වාර ප්‍රවේශ පත්‍රය ගන්නකොට පරණ මාසයේ වාර ප්‍රවේශ පත්‍රය ආපසු බාර දෙන්න ඕන. 
සීසන් එක අපිට ගන්නත් පුලුවන් වෙන්නේ අපි ඉල්ලුම් කරන දුම්රිය ස්ථානයෙන්මයි. 
සාමාන්‍යයෙන් අලුත් මාසේ 01වැනිදා ඉඳලා 11 වැනිදා වෙනකල් සීසන් එක ගන්න පුලුවන්. (හැබැයි සමහර ප්‍රධාන දුම්රිය ස්ථාන වල 10 වැනිදා වෙනකල් විතරයි)
සහනයක් විදියට අලුත් මාසේ දවස් 02ක් පරණ මාසේ වාර ප්‍රවේශ පත්‍රයෙන් යන්න එන්න පුලුවන්.  දෙවැනි දිනය නිවාඩු දිනයක් නම් 03 වැනිදාත්, 02 හා 03 දින දෙකම නිවාඩු නම් 04 වැනිදාත් පරණ සීසන් එකෙන්ම යන්න එන්න පුලුවන්. 


දුම්රිය සේවක වාර ප්‍රවේශ පත්‍ර

දුම්රිය සේවකයන් හට පමණක් වෙන් වූ වාර ප්‍රවේශ පත්‍ර වර්ගයකි. දුම්රිය සේවකයන් හට වාර්ෂිකව නිදහස් ගමන් බලපත්‍ර (වොරන්ට්) 06ක් හිමි වන අතර ඊට අමතරව ඔවුන් හට ලබා දෙන සහනදායී වාර ප්‍රවේශ පත්‍රයකි. මේ සඳහාත් තනි ගාස්තුව මෙන් හය ගුණයක ගාස්තුවක් ගෙවිය යුතු වෙනවා. 

පාසල් / කාර්මික විද්‍යාල / විශ්ව විද්‍යාල වාර ප්‍රවේශ පත්‍ර

පාසල්  වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ වයස අවුරුදු 05ත් 21ත් අතර පාසල් සිසුන් පමණී. කාර්මික විද්‍යාල / විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන අය සඳහා කාර්මික විද්‍යාල / විශ්ව විද්‍යාල වාර ප්‍රවේශ පත්‍රය ලබා ගත හැක. මේ දෙවර්ගයටම ෆෝල්ඩරය අවශ්‍ය වන්නේ නැති අතර පාසැල් සිසුන්හට එය පාවිච්චි කල හැක්කේ පාසැල් නිල ඇඳුමින් සිටියදී පමණකි. කාර්මික විද්‍යාල / විශ්ව විද්‍යාල වාර ප්‍රවේශ පත්‍රය භාවිතා කල හැක්කේ තමන්ගේ කාර්මික විද්‍යාලයේ හෝ විශ්ව විද්‍යාලයේ හැඳුනුම්පත සමඟ පමණී. එම හැඳුනුම්පත නොමැති නම් වාර ප්‍රවේශ පත්‍රය වලංගු නැත.
 
පාසැල් වාර ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට අදාළ ආකෘති පත්‍රය එය අදාළ විෂය භාර ගුරුවරයා විසින් පුරවා විදුහල්පතිතුමා විසින් සහතික කිරීමෙන් පසුව දුම්රිය ස්ථානයට ඉදිරිපත් කර වාර ප්‍රවේශ පත්‍රය ලබා ගත හැකි වෙනවා. මෙහිදී සෑම මාසයකට වරක් අලුත් ආකෘති පත්‍රයක් ලබාගත යුතු වෙනවා. වයස අවුරුදු 05-12 අතර සිසුන් සඳහා ගාස්තුව තනි ගමන් ගාස්තුව මෙන් තුන් ගුණයක් වන අතර එය ආසන්න 10ට වටයනු ලැබේ. වයස අවුරුදු 12-21 අතර සිසුන්ට ගාස්තුව තනි ගාස්තුව මෙන් හය ගුණයකි. මෙම වාර ප්‍රවේශ පත්‍රයෙන්ද අලුත් මාසයේ දින දෙකක් යාමට හා ඒමට සහන කාලයක් ලබා දී තිබෙනවා. 

කාර්මික විද්‍යාල / විශ්ව විද්‍යාල වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේදීත් ඒ සඳහා අදාළ ආකෘති පත්‍රය තම  කාර්මික විද්‍යාලයෙන් / විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන එය පුරවා කාර්මික විද්‍යාල / විශ්ව විද්‍යාල ප්‍රධානියා ලවා සහතික කරවා ගත යුතුයි. මෙහදී එම අයදුම්පත ලබා දෙන්නේ මාස 06ක කාල සීමාවකට අදාළවයි. සහතික කරවා ගත් අයදුම් පත දුම්රිය ස්ථානයට ලබා දී තමන්ට අදාල වාර ප්‍රවේශ පත්‍රය ලබා ගත හැකි අතර එහිදී එම දුම්රිය ස්ථානාධිපතිතුමා විසින් එම ආකෘති පත්‍රය තබා ගන්නා අතර ඉදිරි මාස 05 සඳහා වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට ඔබ විසින් එම සහතික කරගන්නා ලද ආකෘති පත්‍රයේ ඡායා පිටපතක් තබා ගත යුතු වෙනවා. මෙම වාර ප්‍රවේශ පත්‍රයත් මාසිකව නිකුත් කරනු ලබන අතර මේ සඳහාද අලුත් මාසයේ දින දෙකක් යාමට හා ඒමට සහන කාලයක් ලබා දී ඇත. 

කලාපීය හා සති ප්‍රවේශ පත්‍ර

දිනපතා කොළඹට වැඩිම මගීන් පිරිසක් පැමිණෙන හා වැඩිව වාර ප්‍රවේශ පත්‍ර අලෙවියක් සිදුවන දුම්රිය ස්ථාන ඉලක්ක කරගෙන මේ කලාප වෙන් කරවාගෙන තියනවා. මෙම සීසන් පත්ද පුද්ගලික ඒවා හා සමාන වේ. එම කලාප අතර දුම්රිය ස්ථාන වලින් පමණක් සති ප්‍රවේශ පත්‍ර නිකුත් කරන අතර එය ඕනෑම දිනයක ලබා ගත හැකි වේ. නමුත් එම සති ප්‍රවේශ පත්‍රය වලංගු වන්නේ එය ලබා ගත් සතියේ ඉරිදා දින දක්වා පමණී. මාසික ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට නොහැකි වූ විටක මෙන්ම කෙටි කාලීන අවශ්‍යතාවන් සඳහා වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේදී මේ සති ප්‍රවේශ පත්‍රය වාසි දායක වේ. 


Post a Comment

0 Comments