යාංගල්මෝදර බස් දුම්රිය ගැටුම

 


පළපුරුදු දුම්රිය එන්ජින් රියදුරුවරයෙකු වූ H.A. සිරිසේන මහතා හට 2005.04.27 වැනිදා පැවරී තිබුනේ කොළඹ කොටුව සිට මහනුවර දක්වා උදෑසන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ධාවනය කරවීමයි. සාමාන්‍ය පරිදිම උදෑසන 7.00ට කොළඹ කොටුවෙන් පිටත් වුන දුම්රිය M6-786 එන්ජිම සමඟ රුමේනියන් මැදිරි කිහිපයකින් සමන්විත වුනා. ගම්පහ , වේයන්ගොඩ වැනි නගර පසු කරමින් වේගයෙන් ඉදිරියට ඇදුණු නගරාන්තරය උදෑසන 8.15 පමණ වන විට ගමනේ සන්ධිස්ථානයක් වුනු පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ලඟා වෙමින් සිටියා. 

ඒ අනුව වලකුඹුර උප දුම්රිය ස්ථානය පසු වී මඳ දුරකින් ඇති යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු මහා මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන වලට වැසී ගියේ නගරාන්තර දුම්රියට ඉඩ හසර ලබා දීමටයි. හරස් මාර්ගයේ පොල්ගහවෙල අන්තයේ නැවතී තිබුණු වාහන අතර ගල්කිරියාගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගීන් 120ක් පමණ රැගත් පුද්ගලික බස් රථයක්ද විය.  තවත් බසයක් සමඟ තරඟකාරීව ධාවනය වෙමින් තිබූ මෙම බසයේ රියදුරුවරයාට සහ කොන්දොස්තරවරයාට මේ ප්‍රමාදය ඉවසිය නොහැකි වූ නිසාවෙන් කොන්දොස්තරවරයා බසයෙන් බැස දුම්රිය මාර්ගයට ගොස් තවමත් දුම්රිය නැති බවට බසයේ රියදුරුවරයාට සංඥා කිරීමෙන් පසුව නවතා තිබූ අනෙකුත් වාහන පසු කරමින් බසය ඉදිරියට ඇදුණේ මාර්ගයේ දකුණු පසිනි.  

උපුටා ගැනීම : Sundaytimes වෙබ් අඩවියෙන්


මෙම හරස් මාර්ගය අසල දුම්රිය මාර්ගයේ ඇති වංගුවත් පොල්ගහවෙල දෙසින් එන විට මහා මාර්ගයේ දකුණු පස ඇති පර්වතයත් නිසා කොළඹ දෙසින් එන දුම්රිය නොදුටු බසයේ රියදුරුවරයා දුම්රිය මාර්ගය හරහා බසය ධාවනය කරන්නට තීරණය කලේය.


තරඟාකාරී ගමනක යෙදී සිටි බසය ප්‍රමාද කරවීමට ඇති අකමැත්ත මත නීති විරෝධී සහ අපරික්ෂාකාරී මෙන්ම අනතුරුදායක ලෙස බසය පැදවීමට තමා ගත් තීරණය නිවැරදි එකක් නොවන බව බසයේ රියදුරුවරයා වූ අබ්දුල් වහීඩ් හෆ්රූල් තේරුම් ගන්නා විට ඔහු ප්‍රමාද වැඩි විය. දුම්රිය බසයට ලංවෙමින් පැවති අතර ඔහුට බසය බේරා ගැනීමට තරම් අවස්ථාවක් ඉතිරිව නොතිබිණි.

M6-786 දරණ එන්ජිමේ ගැටුණු HT-2520 දරණ බසය නැවතුනේ දුම්රිය මාර්ගය ඔස්සේ මීටර්   75-100 අතර ප්‍රමාණයක් පොල්ගහවෙල දෙසට ඇදී යාමෙන් අනතුරුව ගිනි ගෙන විනාශ වුනු සුන් බුන් ගොඩක් ලෙසය.

උපුටා ගැනීම : ගොසිප් ලංකා NEWS වෙබ් අඩවියෙන්


අනතුරින් දුම්රියේ මගීන් කිසිවෙකුට අනතුරක් නොවුන අතර බසයේ සිටි මගීන්ගෙන් 35 දෙනෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුනු බව පසුව වාර්තා වුනා. ප්‍රදේශවාසීනූත්, දුම්රිය මගීනුත් එක්ව තුවාල ලැබූවන්ව ලහි ලහියේ  කුරුණෑගල, පොල්ගහවෙල හා කෑගල්ල රෝහල්වලට යවනු ලැබූ අතර එහිදී බරපතල තුවාල ලැබූවන් 10ක් පමණ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුනා. ඒ අතරිනුත් 6 දෙනෙක් පසුව මිය ගිය බව වාර්තා වුනා. බසයේ රියැදුරුවරයා සහ කොන්දොස්තරවරයාද සුලු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කෙරුණා.

අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි



41ක් ජීවිත අහිමි වෙමින් 35ක් තුවාල ලබමින් සිදුවූ බිහිසුණු අනතුර නිසාවෙන් කම්පනයට පත්වුනු දුම්රිය එන්ජින් රියදුරුවරයාද රෝහල් ගත කෙරුණා. ඔහුගෙන් කෙරුණු විමසීමකදී ඔහු මෙලෙස ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති බවට theguardian වෙබ් අඩවියේ සඳහන් වෙනවා.

The signal was green and the level crossing gates were closed. Then I saw the bus trying to cross … and the next thing I know was the engine hitting the rear of the bus.”<br>“After the first impact, the bus spun around and hit the train again. I have been in this job for 41 years, and this is the first time something like this has happened. 
https://www.theguardian.com/world/2005/apr/27/srilanka

සිදු කල වරදෙහි බරපතල කම නිසාම බසයේ රියැදුරු වූ අබ්දුල් වහීඩ් හෆ්රෑල්ට එරෙහිව  මිනිසුන් මරණයට පත් කිරීම හා මරණයට පත් කිරීමට තැත් කිරීමත්, කොන්දොස්තරවරයා වූ මිල්ලවගෙදර බුද්ධික රුවන් කුමාර යන අයට විරුද්ධව මිනිසුන් මරණයට පත් කිරීම හා මරණයට පත් කිරීමට තැත් කිරීමට අනුබල දීමත්, ඇතුළු චෝදනා 152කට (76 බැගින්) අධි චෝදනා ගොනු කෙරුණේ 2007.03.22 වෙනිදා නීතිපතිවරයා විසිනි.


ජීවිතක්ෂයට පත් වූවන්ගේ නාම ලේඛනය

  1. එම්.ඩී.සුභාෂිණී නවරත්න මිය – පුබ්බෝගම
  2. එස්.ආරෝක්කියම් මහතා – මඩකලපුව
  3. යූ.කේ.ඩී.අමරවංශ මහතා – කුරුණෑගල
  4. ටී.එම්.ඉක්බාල් මහතා – වහකෝට්ටේ
  5. එම්.එන්.එම්.ජම්බු මහතා – පොල්ගහවෙල
  6. බී.එම්.මාධව බණ්ඩාර මහතා – බත්තුළුඔය
  7. කේ.ඩී.එම්.මේනකා විදර්ශනී අමරසේන මෙනවිය – මාතර
  8. අයි.ජී.නන්දාවතී මිය – ගලේවෙල
  9. සී.ප්‍රියශාන්ත මහතා – මාතලේ
  10. එස්.ඒ.කුලතුංග මහතා – කුරුණෑගල
  11. ටී.නාගුර් අඩුම මහතා – කිබිස්ස
  12. ආර්.එම්.කුසුමාවතී මිය – දඹුල්ල
  13. ආර්.එම්.මවුරුප් මහතා – කිබිස්ස
  14. ජී.ජී.ජයතිස්ස මහතා – දඹුල්ල
  15. ආර්.ඩබ්.එම්.මනීෂා කුමාරි ගන්දරවත්ත මෙනවිය – කැකිරාව
  16. ප්‍රදීප් දුමින්ද දිසානායක මහතා – ඇල්පිටිය
  17. සමන්ති හෙට්ටිගොඩ මිය  – ඇල්පිටිය
  18. යෙහානි අංජනා දිසානායක දැරිය – ඇල්පිටිය
  19. අයි.එම්.කාන්ති කුමාරි මිය – දේවහුව
  20. ආර්.ඩී.සරත් මහතා – කැකිරාව
  21. එච්.එම්.කේ.කරුණාසිරි මහතා – බණ්ඩාරවෙල
  22. ඒ.එම්.ජගත් සිසිර කුමාර අධිකාරි මහතා – වදාකඩ
  23. එච්.එම්.සමුදනී කුමාරි මිය – ගලේවෙල
  24. එම්.ජී.නිලන්ත ප්‍රේමලාල් ජයවික්‍රම මහතා – ගලේවෙල
  25. ඩී.ඒ.අයි.ඩබ්.කුමාර මහතා – ගලේවෙල
  26. වයි.එම්.ඩී.සේනාරත්න මහතා – හිරියාල
  27. බී.ඒ.රවින්ද සංජීව විජේසේකර මහතා – අලව්ව
  28. ඒ.එච්.එම්.ෆවුසර් මහතා – ගලේවෙල
  29. ඩබ්.එම්.පී.කේ.රාජපක්ෂ මහතා – කණ්ඩලම
  30. එස්.එන්.බී.ඒ.එම්.එස්.පී.බුවනෙක මහතා – වෑඋඩ
  31. වී.ආර්.සී.අමරසිංහ මිය – පොල්ගහවෙල
  32. ආර්.ඒ.ජී.නවරත්න මහතා – දඹුල්ල
  33. බී.එච්.ප්‍රනාන්දු මහතා – දඹුල්ල
  34. එච්.එම්.රන්ජන් බණ්ඩාර දිසානායක මහතා – මාතලේ
  35. කේ.ඩී.එම්.ඩබ්.අමරසේන මිය – මාකොල
  36. එස්.පී.විමලසිරි මහතා – පොල්ගහවෙල
  37. එල්.ආර්.පුෂ්පලතා මිය – තඹුත්තේගම
  38. කේ.එම්.ෆවුසර් මහතා – කිබිස්ස
  39. ආර්.එම්.එස්.බී.රත්නායක මහතා – ගලේවෙල
  40. ඩී.ඒ.සිරිපාල මහතා – ගිරිතලේ
  41. ඩී.එම්.සුරේස් චන්දන මහතා – ආනමඩුව 

අංක 16,17,18 නම් සඳහන් මෙලොව හැර ගිය තිදෙනා එකම පවුලේ සාමාජිකයින්ය.



සිද්ධිය ඇසින් දුටුවන්, තුවාලකරුවන්, පොලීසිය හා වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුලු විශාල පිරිසකගෙන් සාක්ෂි විමසමින් වසර ගණනාවක් පුරාවට විභාග කෙරුණු නඩුව අවසානයේ කුරුණෑගල මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් විත්තිකරුවන් දෙදෙනාට මරණ දඬුවම නියම කෙරුණා. ඒ 2013.04.05 වැනිදායි. ඒ අනුව මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වරදකට මරණ දඬුවම ලබා දුන් පළමු අවස්ථාව ලෙසද මෙය ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වුනා. 


එහිදී, බස් රථ රියදුරු විසින් කියා සිටියේ තමා තමන්ගේ ජීවිතයට වැඩියෙන්ම ආදරය කරන බවත්, බසයේ මගීන්ව මරා දැමීමට හීනෙකින්වත් නොසිතූ බවත්ය. තවදුරටත් අසනීප දරු දෙදෙනෙකුගෙන් යුතු සිය පවුල යැපෙන්නේ මේ රැකියාවෙන් බවත්, මින් පෙර කිසිදු අවස්ථාවක කිසිදු සිද්ධියකට අදාලව වරදකරුවෙකු වී නැති නිසාත් අල්ලා දෙවියන්ගේ නාමයෙන් සමාව ලබා දෙන ලෙසයි.  එමෙන්ම බසයේ කොන්දොස්තරවරයාද පවසා සිටියේ, තම දෙමාපියන්වත් සහෝදරියගේ දරුවන් දෙදෙනාත් රැක බලාගන්නේ තමන්ගේ මේ රැකියාවෙන් නිසාත් ඔහුට ලබා දුන් දඬුවම ලිහිල් කරන ලෙසත්ය.

                            යාංගල්මෝදර හරස් මාර්ගය මතින් පොල්ගහවෙල දෙසට ධාවනය වන දුම්රියක්


කෙසේ වෙතත් ඔවුන් විසින් ඉදිරිපත් කල අභියාචනය මහාධිකරණය පිළිනොගත් අතර රතු ආලෝක සංඥා, වසා තිබූ දුම්රිය ගේට්ටුව, ගේට්ටු කරුගේ අනතුරු ඇඟවීම්, අසල ත්‍රීරෝදරථ කරුවන්ගේ අනතුරු හැඟවීම් යන සියල්ල පසෙකලා 120ක් පමණ අහිංසක මගී ජීවිත අවදානමට ලක්වන සේ බසය ධාවනය කර , පුද්ගලයින් මරණයට පත්කිරීම, මරණයට පත්කිරීමට තැත් කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයකටම වරදකරු ලෙස බස් රියදුරුවරයා නම් කල අතර, බසයේ කොන්දොස්තරවරයා ඒවාට අනුබල දීමට වරදකරු ලෙස නම් කෙරුණා. 

තවත් මෙවන් අනතුරු සිදුවීම වළක්වාගැනීමට එවකට පැවති රජය විසින් මෙම ස්ථානයේ ගුවන් පාලමක් ඉදි කරන බවට පොරොන්දු ලබා දී තිබුණත් ඉන් වසර 16කටත් වඩා ගතවී ඇති අද (2021 මැයි) වන විටත් ඒ පිළිබඳව කිසිදු පියවරක් ගෙන ඇති බවක් දක්නට නැත. අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් සිහිකරමින් තැනුනු ස්මාරකයක් පමණක් අද එතැන ඉතිරිව ඇත. 






පළපුරුදු දුම්රිය එන්ජින් රියදුරුවරයෙකු වූ H.A. සිරිසේන මහතා හට 2005.04.27 වැනිදා පැවරී තිබුනේ කොළඹ කොටුව සිට මහනුවර දක්වා උදෑසන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ධාවනය කරවීමයි. සාමාන්‍ය පරිදිම උදෑසන 7.00ට කොළඹ කොටුවෙන් පිටත් වුන දුම්රිය M6-786 එන්ජිම සමඟ රුමේනියන් මැදිරි කිහිපයකින් සමන්විත වුනා. ගම්පහ , වේයන්ගොඩ වැනි නගර පසු කරමින් වේගයෙන් ඉදිරියට ඇදුණු නගරාන්තරය උදෑසන 8.15 පමණ වන විට ගමනේ සන්ධිස්ථානයක් වුනු පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ලඟා වෙමින් සිටියා. </p>

Post a Comment

0 Comments